(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
මීගමුව කොටසේ සිට ආනමඩුව පොලිස් ස්ථානාධිපති ලෙස පත් කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. පී. ආර් අබේනායක මහතාගේ එම පත්වීම ඉහළ බලධාරීන්ට බලපෑම් කර අත්හිටුවීමට කටයුතු කළේ යැයි කියන පුත්තලම දිස්ත්‍රික්කයේ රාජ්‍ය අමාත්‍යවරයකුට එරෙහිව එම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කර ඇත.
මෙමඟින් තමාගේ මූලික අයිතිවාසිකම් කඩ වූ බවත් ඒ ගැන විධිමත් පරීක්ෂණයක් පවත්වා සාධාරණය ඉටු කර දෙන ලෙසත් ඉල්ලා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මෙම පැමිණිල්ල කර ඇතැයි කොමිසමේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
මෙම පත් කිරීම අත්හිටුවීම සම්බන්ධයෙන් පුවත්පත් වල පළවීමෙන් පසු අදාල රාජ්‍ය අමාත්‍යවරයා සමහර රූපවාහිනී නාලිකා මගින්තමාගේ නාමයට අපකීර්තියක් වන ආකාරයේ ප්‍රකාශ ලබා දී ඇති බවද ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කළ එම පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් කර ඇතැයි කොමිසමේ එම උසස් නිලධාරියා කීය.
ආනමඩුව පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස පත්කරනු ලැබූ මීගමුව කොට්ඨාසය රාජකාරි කරන ප්‍රධාන පොලිස් පරීක්ෂක අබේනායක මහතාගේ එම පත්වීම පුත්තලම දිස්ත්‍රික්කයේ රාජ්‍ය අමාත්‍යවරයෙකු ගේ මැදිහත්වීම 19 වැනි දා අත්හිටුවනු ලැබීය.
ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ආණමඩුව පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස පත්කළ විශේෂ පොලිස් පණිවිඩය නිකුත් කර තිබුණේ ඉකුත් 18 වෙනිදාය.

